Saturday, May 12, 2012

පොඩිම නැති ඒත් පොඩි චරිතයක්...........


මම ගොඩක් ආදරේ කරන මගේ වෘත්තිය හේතු කරගෙන මේ ටික කාලේට මම දැකපු කථාබහ කරපු මිනිස්සු බොහෝමයි, ඒ අතරේ මතකයේ රැදුනු චරිත කිහිපයක්ම තියෙනවා.
මේ මොහොතේ මම ලියන්න යන්නේ ඒ වගේම තවත් එක චරිතයක් ගැන.
මගෙ කථානායකයා අවුරුදු 21ක තරුණයෙක්. ඔහුව දැක්කාම කා‍ටවත් හිතෙන එකක් නෑ ඔහුට එච්චර වයස බව, අපිට උනත් ඒ අහිංසක මූණ දැක්කාම අනේ මේ තරුණ කොල්ලෙක්නෙ කියලා හිතෙන්නේම නෑ. ඒ නිසාම මගෙ යාළුවා "මින්" එයාට කිව්වෙ "පොඩ්ඩා" කියලා.බාබා කියලා මුලදි මට කියවුනත් පස්සෙ මම ඔහුගේ නමින් කථාකරන්න පුරුදු උනා.
වයස එහෙම උනත් පුංචි ඇගිලි, පුංචි අතපය, පුංචි ඇගක් තියෙන මේ අහිංසකයා තමන්ගෙ ඇදට වෙලා පැත්තකට හැරිලා ඔහේ බලන් ඉන්නවා.
කථාබහක් නෑ. ඇත්තම කියනවා නම් ඔහුගෙ කටහඩ අහිමියි. මේ පොඩ්ඩාගේ තාත්තා රණවිරුවෙක් විදියට රටට සේවය කරපු කෙනෙක් ඒත් තමන්ට දාව උපන්න මේ අහිංසකයාව රැක බලා ගන්න ඒ තාත්තා රැකියාවට සමුදීලා.ගෙදර ඉන්න ලොකු පුතාගේ මංගල්ලේ ලබන මාසෙලු, නැකතට බුලත් දුන්නෙ මැයි 10 බව ඒ තාත්තා අපිත් එක්ක සතුටින් කිව්වා. ඒ කතන්දර හැම එකක්ම කියන්නෙත් තමන්ගෙ බාල පුතා, අපේ පොඩ්ඩා දිහාත් හරිම සෝදිසියෙන් බලන් ඉන්න ගමන්.
ඒ අතරේ මම බැලුවේ ඒ රත්තරන් තාත්තාගෙ ඇස් දිහා කදුළු පිරිලද දැන ගන්න. නෑ.....කදුළු නෑ.හිත හයියයි. අවුරුදු 21ක් පුරාවට මේ තාත්තා වයසේ හැටියට වැඩීමක්, කථාබහක්, අනිත් සාමාන්‍ය ළමයි වගේ දගකාරකම් නොදැක නොඅසා තමන්ගෙ දරුවාව බලා කියා ගන්නවා. ඔව් ඒ හිත හයියයි. මහා මේරුවටත් වඩා හයිය ඇති. තමන්ගේ ලෙයින් උපන් ස්භාව ධර්මයාගේ අසාධාරණයට සරදමට ලක් වුන අර අහිංසකයාව කුණු ගොඩකට වීසි නොකර, නි‍වාසෙකට භාර නොදි තාමත් හදා ගන්නවා හරියට අත දරුවෙක්ව වගේ......
(මෙහෙම ලියද්දි මට මතක් වෙන්නේ මූහුණු පොතේ තිබුණු වීඩියොවක් ඒකේ නම "හදවතක් නැති ගැහැණිය"  මම ඒ ගැන වැඩි විස්තර ලියන්නට යන්නේ නැහැ. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත කියලා විතරක් ලියන්නම්).

අපි මේ‍ පොඩ්ඩාට අපෙන් කෙරෙන්න ඕන සැලකිලි, ප්‍රතිකාර කරද්දි ඒ තාත්තා බලන් ඉන්නෙ අපෙන් පුංචි  රිදවීමක් හරි වෙයිද කියලා. අනේ ඒ තාත්තා අවුරුදු 21ක පුතාව වඩාගෙන ආදරේ කරද්දි දැනෙන්නේ මහා සතුටක් (මටත් මගේ තාත්තාව මතක් උනා).
මේ පොඩ්ඩාගේ ඔළුව අතගාන ගමන් නම කියලා කථා කරද්දි තමන්ගෙ කටහඩ අවදි කරන්න බැරි උනත් පුංචි ඇස් වලින්, මූණෙ හැගිම් වලින් දෙන උත්තර තේරුම් ගන්න පුළුවන් වුනු එක ගැන මට තියෙන්නෙ මා ගැන ලොකු සතුටක්. මට වගේම මාත් එක්ක ඉන්න මගේ යාළුවා මින්ටත් එහෙමයි කියලා මම දන්නවා.
අපි හැමෝම ඔහු සමග කථා කළා,අපිව අපේ කටහඩ හැදින ගනිද්දි දැනෙන සතුට, ආත්ම තෘප්තිය වෙනත් අන් කිසිවකින් ලබන්නද මේ වෘත්‍තියෙන් නොමැතිව.

පොඩ්ඩාව දකින හැම වෙලාවකම මට හිතුනේ අනේ මේ දරුවා කථා කරනවනම් කියලා.....එක වෙලාවක මම මින්ට කිව්වා "අනේ ‍එයාගේ ලෝකේ මොන වගේ ඇත්ද" කියලා. මොනවා උනත් පොඩ්ඩාටම වෙන්වුන එයාගේ ලෝකෙ ගොඩක් ලස්සන ඇති.

අපි අන්තිමට ඔහුට කථා කරලා එද්දි අපි යනවයි කියද්දිත් වෙනදා වගේම අපි දිහා බලන් උන්නෙ බොහොම කාලේක ඉදන් දන්න අදුනන කෙනෙක් ‍වගේ. හැම ‍දේම නොදුන්නත් ‍ස්භාවධර්මයා විසින් ඒ දරුවට කන් ඇසීමයි, හදුනාගැනීමයි කියන සංවේදිතාවයන් දෙක දීලා තිබුනා.
පොඩ්ඩා ගෙදර ගිහින් ඇති.අපි ආයෙමත් යන දවසට එයා ඉන්න එකක් නෑ. අසනීප වෙලා හිටපු ඔයා සනීපවෙලා ගෙදර ගිහිපු එක ගොඩක් හොදයි. ඒත් අපිට පාළු දැනේවි.
අපි ප්‍රාර්ථනා කරමු ඉපදෙන මතු භවයකදි මේ පොඩ්ඩාට වෙන කාට හෝ මෙවැනි දෙයක් සිදුනොවේවායි!
ජීවිතේ ඉතිරි කාලේ ඔයාගේ ලෝකේ සතුටින් ගතකරන්න ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
දළදා සමිදු පිහිටයි ඔයාට!!
මේ පොඩ්ඩාගේ රෝග තත්වය ගැනත් කෙටියෙන් හෝ යමක් නොලියා බැහැනේ. "Cerebral Palsy" ලෙස හදුන්වන මෙය ගර්භණී මවකට වෙන අනතුරකදි එහෙමත් නැත්නම් මව රෝගී උනොත් , ඒ වගේම දරුවා ඉපදෙන විට සිදුවන අනතුරක් නිසා දරුවාගේ  "brain damage" වීමකදි මේ තත්වය ඇති වෙන්න පුළුවන්. 


ඉතින් දරුවො ලැබෙන්න ඉන්න අම්මලා, දරු‍වො හදන්න ඉන්න අම්මලා, වගේම සෞඛ්‍යය සේවයේ අපිත් සැලකිලිමත් වෙනවානම් ‍මේ විදියට වෙන එක වළක්ව ගන්න පුළුවන් වේවි. තාත්තලාටත් ලොකු වගකීමක් තියෙන බව මතක් කරන්න කැමති.

මේ ගෙවුනේ මැයි 12 අපිට විශේෂ දවසක්, ඒ තමයි ජාත්‍යන්තර හෙද දිනය. අද දවස ඒ විදියට නම් කරලා තියෙන්නේ හෙද වෘත්තිය ලෝකෙටම හදුන්වලා දීපු  මුළු ලෝකෙම හෙද හෙදියන්ගේ අම්මා ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිණියගේ උපන් දිනය අද නිසා (අද දින සමරන්නේ 152වන ජන්ම දිනයයි).එතකොට උදා වෙන හෙට දිනය මැයි 13 ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෝකේ පළමු හෙදිය කව්ද කියලා මම ඇහුවොතින් ඔයාලා දෙන උත්තරේ මොකක්ද?
ම්ම්ම්.......උත්තරේ "අම්මා"
ඉතින් මේ හැම දෙයක්ම හේතු කරගෙන වගේම ‍පොඩ්ඩාට සාත්තු කරද්දි දැනුන සංවේදිකම නිසා මේ විදියට ලියන්න හිතුවා.එකතු කරන්න බොහොමයක් අත්දැකීම් අත්විදීම් තියෙනවා උනත් මේ ඇතැයි හිතුන නිසා අදට නවතිනවා.

8 comments:

  1. සංවේදි සටහනක්.. ඒත් හිතට පුංචි ප්‍රශ්ණේකුත් ආවා.. ඒ ආදරණිය තාත්තා නැති දවසට පොඩ්ඩාට මොනව වෙයිද කියන එක...

    ReplyDelete
    Replies
    1. ඒ තාත්තා ඒ වෙනුවෙනුත් යමක් කරාවි මට විශ්වාසයි......

      Delete
  2. apita eyawa amathka wena ekak na neda chthu ...

    ReplyDelete
  3. ඇත්තට ම සංවේදී සටහනක්....
    ආයෙම කිසිම භවයකදී කසුන්ට මෙවන් දුකක් නොවේවා....!කියල මම ඉත සිතින් පතනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.....

      Delete
  4. ඇත්තටම අක්කියෝ මම ඊයේ මේවගේ දරුවෙක් දැක්කා එයා ගැන පොස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්න අතර තුරේ බැරිවීමකින් මේ පැත්තට ආවෙ..ඇත්තමයි මම දැකපු දරුවගෙත් සිදුවීම ඔය වගේමයි...හිතාගන්න බැරි සිදුවීමකුත් නිසා අනිවා පෝස්ට් එකක් දානව කියල හිතන් හිටියේ දැන් විස්තරත් දැනගත්තා

    කිසිම ආත්මයක මෙවැනි දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට අහම්ඹෙන් උනත්.....
      ඔව් ඇත්ත ඒ වගේ කාටවත් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු...

      Delete