Saturday, May 12, 2012

පොඩිම නැති ඒත් පොඩි චරිතයක්...........


මම ගොඩක් ආදරේ කරන මගේ වෘත්තිය හේතු කරගෙන මේ ටික කාලේට මම දැකපු කථාබහ කරපු මිනිස්සු බොහෝමයි, ඒ අතරේ මතකයේ රැදුනු චරිත කිහිපයක්ම තියෙනවා.
මේ මොහොතේ මම ලියන්න යන්නේ ඒ වගේම තවත් එක චරිතයක් ගැන.
මගෙ කථානායකයා අවුරුදු 21ක තරුණයෙක්. ඔහුව දැක්කාම කා‍ටවත් හිතෙන එකක් නෑ ඔහුට එච්චර වයස බව, අපිට උනත් ඒ අහිංසක මූණ දැක්කාම අනේ මේ තරුණ කොල්ලෙක්නෙ කියලා හිතෙන්නේම නෑ. ඒ නිසාම මගෙ යාළුවා "මින්" එයාට කිව්වෙ "පොඩ්ඩා" කියලා.බාබා කියලා මුලදි මට කියවුනත් පස්සෙ මම ඔහුගේ නමින් කථාකරන්න පුරුදු උනා.
වයස එහෙම උනත් පුංචි ඇගිලි, පුංචි අතපය, පුංචි ඇගක් තියෙන මේ අහිංසකයා තමන්ගෙ ඇදට වෙලා පැත්තකට හැරිලා ඔහේ බලන් ඉන්නවා.
කථාබහක් නෑ. ඇත්තම කියනවා නම් ඔහුගෙ කටහඩ අහිමියි. මේ පොඩ්ඩාගේ තාත්තා රණවිරුවෙක් විදියට රටට සේවය කරපු කෙනෙක් ඒත් තමන්ට දාව උපන්න මේ අහිංසකයාව රැක බලා ගන්න ඒ තාත්තා රැකියාවට සමුදීලා.ගෙදර ඉන්න ලොකු පුතාගේ මංගල්ලේ ලබන මාසෙලු, නැකතට බුලත් දුන්නෙ මැයි 10 බව ඒ තාත්තා අපිත් එක්ක සතුටින් කිව්වා. ඒ කතන්දර හැම එකක්ම කියන්නෙත් තමන්ගෙ බාල පුතා, අපේ පොඩ්ඩා දිහාත් හරිම සෝදිසියෙන් බලන් ඉන්න ගමන්.
ඒ අතරේ මම බැලුවේ ඒ රත්තරන් තාත්තාගෙ ඇස් දිහා කදුළු පිරිලද දැන ගන්න. නෑ.....කදුළු නෑ.හිත හයියයි. අවුරුදු 21ක් පුරාවට මේ තාත්තා වයසේ හැටියට වැඩීමක්, කථාබහක්, අනිත් සාමාන්‍ය ළමයි වගේ දගකාරකම් නොදැක නොඅසා තමන්ගෙ දරුවාව බලා කියා ගන්නවා. ඔව් ඒ හිත හයියයි. මහා මේරුවටත් වඩා හයිය ඇති. තමන්ගේ ලෙයින් උපන් ස්භාව ධර්මයාගේ අසාධාරණයට සරදමට ලක් වුන අර අහිංසකයාව කුණු ගොඩකට වීසි නොකර, නි‍වාසෙකට භාර නොදි තාමත් හදා ගන්නවා හරියට අත දරුවෙක්ව වගේ......
(මෙහෙම ලියද්දි මට මතක් වෙන්නේ මූහුණු පොතේ තිබුණු වීඩියොවක් ඒකේ නම "හදවතක් නැති ගැහැණිය"  මම ඒ ගැන වැඩි විස්තර ලියන්නට යන්නේ නැහැ. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත කියලා විතරක් ලියන්නම්).

අපි මේ‍ පොඩ්ඩාට අපෙන් කෙරෙන්න ඕන සැලකිලි, ප්‍රතිකාර කරද්දි ඒ තාත්තා බලන් ඉන්නෙ අපෙන් පුංචි  රිදවීමක් හරි වෙයිද කියලා. අනේ ඒ තාත්තා අවුරුදු 21ක පුතාව වඩාගෙන ආදරේ කරද්දි දැනෙන්නේ මහා සතුටක් (මටත් මගේ තාත්තාව මතක් උනා).
මේ පොඩ්ඩාගේ ඔළුව අතගාන ගමන් නම කියලා කථා කරද්දි තමන්ගෙ කටහඩ අවදි කරන්න බැරි උනත් පුංචි ඇස් වලින්, මූණෙ හැගිම් වලින් දෙන උත්තර තේරුම් ගන්න පුළුවන් වුනු එක ගැන මට තියෙන්නෙ මා ගැන ලොකු සතුටක්. මට වගේම මාත් එක්ක ඉන්න මගේ යාළුවා මින්ටත් එහෙමයි කියලා මම දන්නවා.
අපි හැමෝම ඔහු සමග කථා කළා,අපිව අපේ කටහඩ හැදින ගනිද්දි දැනෙන සතුට, ආත්ම තෘප්තිය වෙනත් අන් කිසිවකින් ලබන්නද මේ වෘත්‍තියෙන් නොමැතිව.

පොඩ්ඩාව දකින හැම වෙලාවකම මට හිතුනේ අනේ මේ දරුවා කථා කරනවනම් කියලා.....එක වෙලාවක මම මින්ට කිව්වා "අනේ ‍එයාගේ ලෝකේ මොන වගේ ඇත්ද" කියලා. මොනවා උනත් පොඩ්ඩාටම වෙන්වුන එයාගේ ලෝකෙ ගොඩක් ලස්සන ඇති.

අපි අන්තිමට ඔහුට කථා කරලා එද්දි අපි යනවයි කියද්දිත් වෙනදා වගේම අපි දිහා බලන් උන්නෙ බොහොම කාලේක ඉදන් දන්න අදුනන කෙනෙක් ‍වගේ. හැම ‍දේම නොදුන්නත් ‍ස්භාවධර්මයා විසින් ඒ දරුවට කන් ඇසීමයි, හදුනාගැනීමයි කියන සංවේදිතාවයන් දෙක දීලා තිබුනා.
පොඩ්ඩා ගෙදර ගිහින් ඇති.අපි ආයෙමත් යන දවසට එයා ඉන්න එකක් නෑ. අසනීප වෙලා හිටපු ඔයා සනීපවෙලා ගෙදර ගිහිපු එක ගොඩක් හොදයි. ඒත් අපිට පාළු දැනේවි.
අපි ප්‍රාර්ථනා කරමු ඉපදෙන මතු භවයකදි මේ පොඩ්ඩාට වෙන කාට හෝ මෙවැනි දෙයක් සිදුනොවේවායි!
ජීවිතේ ඉතිරි කාලේ ඔයාගේ ලෝකේ සතුටින් ගතකරන්න ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
දළදා සමිදු පිහිටයි ඔයාට!!
මේ පොඩ්ඩාගේ රෝග තත්වය ගැනත් කෙටියෙන් හෝ යමක් නොලියා බැහැනේ. "Cerebral Palsy" ලෙස හදුන්වන මෙය ගර්භණී මවකට වෙන අනතුරකදි එහෙමත් නැත්නම් මව රෝගී උනොත් , ඒ වගේම දරුවා ඉපදෙන විට සිදුවන අනතුරක් නිසා දරුවාගේ  "brain damage" වීමකදි මේ තත්වය ඇති වෙන්න පුළුවන්. 


ඉතින් දරුවො ලැබෙන්න ඉන්න අම්මලා, දරු‍වො හදන්න ඉන්න අම්මලා, වගේම සෞඛ්‍යය සේවයේ අපිත් සැලකිලිමත් වෙනවානම් ‍මේ විදියට වෙන එක වළක්ව ගන්න පුළුවන් වේවි. තාත්තලාටත් ලොකු වගකීමක් තියෙන බව මතක් කරන්න කැමති.

මේ ගෙවුනේ මැයි 12 අපිට විශේෂ දවසක්, ඒ තමයි ජාත්‍යන්තර හෙද දිනය. අද දවස ඒ විදියට නම් කරලා තියෙන්නේ හෙද වෘත්තිය ලෝකෙටම හදුන්වලා දීපු  මුළු ලෝකෙම හෙද හෙදියන්ගේ අම්මා ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිණියගේ උපන් දිනය අද නිසා (අද දින සමරන්නේ 152වන ජන්ම දිනයයි).එතකොට උදා වෙන හෙට දිනය මැයි 13 ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෝකේ පළමු හෙදිය කව්ද කියලා මම ඇහුවොතින් ඔයාලා දෙන උත්තරේ මොකක්ද?
ම්ම්ම්.......උත්තරේ "අම්මා"
ඉතින් මේ හැම දෙයක්ම හේතු කරගෙන වගේම ‍පොඩ්ඩාට සාත්තු කරද්දි දැනුන සංවේදිකම නිසා මේ විදියට ලියන්න හිතුවා.එකතු කරන්න බොහොමයක් අත්දැකීම් අත්විදීම් තියෙනවා උනත් මේ ඇතැයි හිතුන නිසා අදට නවතිනවා.

Thursday, May 10, 2012

 නෙත් කදුළින් තෙත් උනාට ඔබෙ රුව බොද වේදෝ.......


ගොඩක්ම රෑ වෙලා බ්ලොග් එක පැත්තේ ආවේ නින්ද අහලකටවත් ආවේ නැති නිසා. ඇයි මට ඒ මතක මේ තරම් වද දෙ‍න්නේ.....නිදාගන්න දෙන්නෙත් නෑ....කන්න බොන්න දෙන්නෙත් නෑ...වෙනදා වගේ හිනාවෙන්න සින්දුවක් කියාගෙන කෑ ගහන්න දෙන්නෙත් නෑ.....මේ හිත පණ නැති වෙලා. 
කරන්න වැඩ මහමෙරක් තියෙද්දි මගේ මේසේ දිහා බලන්නවත් බැරි තරමට අපිළිවෙල වෙලා.....
අම්මා අහනවා ‍"මොකද දරුවෝ වෙලා තියෙන්නේ....." අනේ මගේ අහිංසක බලු පැටියා එයාට මගේ දුක තේරෙනවා මගේ ළගට ඇවිත් මූණ ඉඹින ගමන් අහිංසක ඇස් මගේ දිහා බලන්නෙ " අඩන්න දුක් වෙන්න එපා එන්න මාත් එක්ක සෙල්ලම් කරමු" කියන්න ‍වගේ...."ඔයාට මාව දැන් අමතක වෙලා නේද?" කියලත් හිතනවා ඇති. ඇත්ත පැටියෝ මට ඔයාවත් අමතක වෙලා....මට මාවත් අමතක වෙලා තිබුනේ...යාන්තම් හිත හදා ගන්න පුංචි උත්සහයක් දරමින් ඉන්නවා. මම මාව ආයෙමත් ඉක්මනටම හොයා ගන්න ඕන.....


ඒත් සිද්ධ වෙන සමහර දේවල් හිත ආයෙමත් පස්සට අදිනවා.....මතක් වෙන සමහර දේවල් හිත ආයෙමත් පස්සට අදිනවා.....දකින සමහර දේවල් (සිතුවිලි) හිත ආයෙමත් පස්සට අදිනවා.....


                 කදුළු බිංදු බිම වැටෙද්දි අහුලන්නට               හැකිදෝ
                 ඔබ වෙතටම හිත දුවද්දි නවතන්නට              හැකිදෝ
                 හිරු අවරට බැස ගියාට නින්ද යලි‍ත්               ඒදෝ
                 නෙත් කදුළින් තෙත් උනාට ඔබෙ රුව බොද  වේදෝ


අනේ ඔය හිත තමයි මම ජීවත් වෙන්න ආසම තැන. ඒත් ඉස්සර දවසක් මම මූණු පොතේ ලිව්වා වගේ 
           ළං විය නොහැකි ලෙස 
           යදම් ලෑ
           අන්සතු හදක් ද ඒ
කියලා හිතෙන වාර අනන්තයි
ඒත් තාමත් හිත කියන්නේ ඔය හිත එක මොහොතක් හරි මට ආදරේ කළ බවමයි.
ඒ සිතුවිල්ල තමයි මට වද දෙන්නේ මේ තරම්
අනේ මට ඔයාව හමු නොවුනානම්, මගේ හිත ඔයාට ආදරේ නොකළානම්...........

Tuesday, May 8, 2012


තනිකම

ස‍ පාළුවෙන් 
ඈත අහසේ
තරුද නිදයි
  තනිය මකන්නට
කිසිවෙකු නැති සද
සුළ   නුබ ගැබේ සරමින්
කො ඳූරයි සසල වූ සිත
නිසල කරන්නට
නමුදු 
ඒ තෙපුල් හ  
රිසි නොවුනු සද
ඬා වැටෙනා විට
රූරා වැටෙයි  දුක් කදුළු
නිවන තෙක් හද ගින්න


At Rotary 04/02/2007

Saturday, May 5, 2012


                                                                                                                                                                      
මං හිත ඇති 
මට හිමි නැති
ප්‍රේමය......
නුඹ ළග ඇති

මා තනිව ඇදි
සිත්තමක් අභියස
සිත තාමත් 
ළතැවෙන හැටි

Friday, May 4, 2012

මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන පිරිමි තුන්දෙනා...........






ඉස්සරම ද‍වසක ඉදන් මම හා හා පුරා කියලා පිරිමියෙකුට ආදරේ කලේ ඔහුට, ඔහුව මට මුණගැස්සුවේ මාව මේ ලෝකෙට බිහි කරපු මගේ අම්මා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මගේ තාත්තා.....ඔහු මගේ තාත්තා වූ නෑකමින් පමණක් නොව, මා ඔහුව දකින්නේ අම්මාගේ ආදරය බෙහෙවින් ලැබූ, යහළුවන් අතරේ ඉතාම දයාබරයෙක් වූ, සරල, සංවේදී, මිනිසත් බව අගය කළ ආදරණීය මිනිසෙකු ලෙසයි.ඔහු දරුවන්ට වඩා ඒ දරුවන් ඔහුට ලබා දුන් ගැහැණියට ආදරය කල දයාබර සැමියෙක්ව සිටියා.
මහමෙරක් වන් පිය සෙනෙහස මට ලබාදුන් ආදරණීය පියෙක්ව සිටියා.

ඉන්පසුව මගේ ආදරය සොරාගත් දෙවන පිරිමියා වන්නේ ඡායාරූපශිල්පියෙකු, හිටිවන කවියෙකු සහ ලිවීමට දස්කම් ඇති මගේ ළමා කාලය වෙනුවෙන් ඔහුගේ තරුණ ජීවිතය ගත කළ සහ කැපකළ මගේ අම්මාගේ බාල සොහොයුරා හෙවත් මගේ මාමා ය. ඔහු තාත්තාට වඩා බෙහෙවින් වෙනස් වූ විප්ලවවාදියෙකි. කුඩා කල සිට මා මනස සමාජවාදී අදහස් වලින් පිරවූයේ ඔහුගේ ඇසුරයි. එසේම මා ලීවීමට පෙළඹ වූයේ ඔහුගේ නිර්මාණයි. පෙරඅපර ගළපා, යවහන් දෝෂ රහිතව සදැස් ලිවීමට කුඩා කල ප්‍රිය වුයේ ඔහු නිසාමය. දැන්නම් මා අතින් සදැස් නොලියවේ...ඇයි දැයි මා නොදනිමි, දැන් වචන ඔහේ ගැට ගසයි.

මේ දෙදෙනාම හැරෙන්නට මගේ ජීවිතේ මා වැඩිපුර ආදරය කල තවත් එක් පිරිමියෙක් හිටියා. ඔහු නමින් දිශංක ශ්‍යාමල් ජයසේකර, මේ මාසේ 18 වෙනිදාට ඔහුගේ වයස අවුරුදු 28ක්. 2006 මැයි මාසේ 22දා මම ඔහු ගැන මෙහෙම ලියලා තිබුනා.......
කළුතර බෝ සමිදුන්ටවත්
කන්දේ විහාරේ හාමුදුරුවන්ටවත්
සීනිගම දෙවියන්ටවත් 
අපේ අයියව බේරගන්න බැරි වුනා
අන්තිමට අපේ රත්තරන් අයියා
අපි හැමෝවම දාලා යන්න ගියා
ගාලු කොටු පවුරත් 
අපේ සුසුම් වලට ඇදුම් කන්න ඇති
අපේ ආදරය, සෙනෙහස, දුක බෙදාගත්තු
රත්තරන් අයියව
පොළොවෙ පස් වලට යටකරද්දි
දෙවියනේ.......
අපේ හිත් පලාගෙන යන්න තරම් දුක හිතුනේ
අපේ අයියට තියෙන ආදරේ හින්දමයි.....
මේ එක් කුස නූපන්නත් මගේ ළගින්ම හිටි මම ආදරේට මගේ පොඩි අයියා කියපු රණ්ඩු වෙන්න වගේම ‍පුංචි කාලේ මාත් එක්ක සෙල්ලම් කරපු මගේ අයියා....

මේ තමයි මම ගොඩක්ම ආදරේ කරපු සහ කරන පිරිමි තුන් දෙනා, ඒ අයගෙන් දෙන්නෙක්ම දැන් මගේ ඇස් මානයේ නැහැ. ඒත් ඒ මතක සුවද අද තාමත් හමනවා සහ දැනෙනවා......
                                            

මමත් Blog පිටුවක් ඇරියා..........

සයිබර් අවකාශෙ සැරිසරන මම හැමදාමත් 1,1 අය හදපු බ්ලොග් ‍පිටු කියවනවා. විවිධාකාර මිනිස්සු නානාප්‍රකාර දේවල් ලියලා තියෙන බොහොමයක් බ්ලොග් පිටු අතරෙ මගෙ හිත් ගත් ‍ඒව නොතිබුණාම නොවෙයි, ඒත් මම ඒවයේ membership අරන් තිබුනේ නෑ. හා හා පුරා කියලා බ්ලොග් ‍පිටුවක සාමාජිකාවක් උනේ මේ මෑතකදි. ඒ අතරෙ කාලෙක ඉදන් මගේම බ්ලොග් පිටුවක හිමිකාරියක් වෙන්න මගේ තිබුන ආසාව තවත් වැඩි උනා.....ඉතින් ඔන්න මමත් බ්ලොග් පිටුවක හිමිකාරියක් උනා
‍මේ හරහා මම මගේ ජිවිතේ අත්දැකීම්, අත්විදිම් බෙදා ගන්නයි වෑයම.