ඉස්සරම දවසක ඉදන් මම හා හා පුරා කියලා පිරිමියෙකුට ආදරේ කලේ ඔහුට, ඔහුව මට මුණගැස්සුවේ මාව මේ ලෝකෙට බිහි කරපු මගේ අම්මා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මගේ තාත්තා.....ඔහු මගේ තාත්තා වූ නෑකමින් පමණක් නොව, මා ඔහුව දකින්නේ අම්මාගේ ආදරය බෙහෙවින් ලැබූ, යහළුවන් අතරේ ඉතාම දයාබරයෙක් වූ, සරල, සංවේදී, මිනිසත් බව අගය කළ ආදරණීය මිනිසෙකු ලෙසයි.ඔහු දරුවන්ට වඩා ඒ දරුවන් ඔහුට ලබා දුන් ගැහැණියට ආදරය කල දයාබර සැමියෙක්ව සිටියා.
මහමෙරක් වන් පිය සෙනෙහස මට ලබාදුන් ආදරණීය පියෙක්ව සිටියා.
ඉන්පසුව මගේ ආදරය සොරාගත් දෙවන පිරිමියා වන්නේ ඡායාරූපශිල්පියෙකු, හිටිවන කවියෙකු සහ ලිවීමට දස්කම් ඇති මගේ ළමා කාලය වෙනුවෙන් ඔහුගේ තරුණ ජීවිතය ගත කළ සහ කැපකළ මගේ අම්මාගේ බාල සොහොයුරා හෙවත් මගේ මාමා ය. ඔහු තාත්තාට වඩා බෙහෙවින් වෙනස් වූ විප්ලවවාදියෙකි. කුඩා කල සිට මා මනස සමාජවාදී අදහස් වලින් පිරවූයේ ඔහුගේ ඇසුරයි. එසේම මා ලීවීමට පෙළඹ වූයේ ඔහුගේ නිර්මාණයි. පෙරඅපර ගළපා, යවහන් දෝෂ රහිතව සදැස් ලිවීමට කුඩා කල ප්‍රිය වුයේ ඔහු නිසාමය. දැන්නම් මා අතින් සදැස් නොලියවේ...ඇයි දැයි මා නොදනිමි, දැන් වචන ඔහේ ගැට ගසයි.
මේ දෙදෙනාම හැරෙන්නට මගේ ජීවිතේ මා වැඩිපුර ආදරය කල තවත් එක් පිරිමියෙක් හිටියා. ඔහු නමින් දිශංක ශ්‍යාමල් ජයසේකර, මේ මාසේ 18 වෙනිදාට ඔහුගේ වයස අවුරුදු 28ක්. 2006 මැයි මාසේ 22දා මම ඔහු ගැන මෙහෙම ලියලා තිබුනා.......
කළුතර බෝ සමිදුන්ටවත්
කන්දේ විහාරේ හාමුදුරුවන්ටවත්
සීනිගම දෙවියන්ටවත්
අපේ අයියව බේරගන්න බැරි වුනා
අන්තිමට අපේ රත්තරන් අයියා
අපි හැමෝවම දාලා යන්න ගියා
ගාලු කොටු පවුරත්
අපේ සුසුම් වලට ඇදුම් කන්න ඇති
අපේ ආදරය, සෙනෙහස, දුක බෙදාගත්තු
රත්තරන් අයියව
පොළොවෙ පස් වලට යටකරද්දි
දෙවියනේ.......
අපේ හිත් පලාගෙන යන්න තරම් දුක හිතුනේ
අපේ අයියට තියෙන ආදරේ හින්දමයි.....
මේ එක් කුස නූපන්නත් මගේ ළගින්ම හිටි මම ආදරේට මගේ පොඩි අයියා කියපු රණ්ඩු වෙන්න වගේම පුංචි කාලේ මාත් එක්ක සෙල්ලම් කරපු මගේ අයියා....මේ තමයි මම ගොඩක්ම ආදරේ කරපු සහ කරන පිරිමි තුන් දෙනා, ඒ අයගෙන් දෙන්නෙක්ම දැන් මගේ ඇස් මානයේ නැහැ. ඒත් ඒ මතක සුවද අද තාමත් හමනවා සහ දැනෙනවා......